ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන්, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීව විශේෂයක් සොයා ගැනීමට සමත් වෙලා තියෙනවා. වයිරසවලට සමාන මේ ජීවියා මෙතෙක් කිසිම විද්‍යාඥයකු විසින් සොයා ගෙන නැහැ. දැනට ‘ඔබිලිස්ක්’ (obelisks) කියා නම් කර ඇති මේ ජීවියා සිලින්ඩරාකාර හැඩයක් ඇති එක් ජානයක් හෝ දෙකක් ඇති සතෙකු ලෙසයි හඳුනා ගෙන ඇත්තේ. මේ ඉංග්‍රීසි වදන යොදා ඇත්තේ එහි හැඩය නිසයි. ඒ සඳහා යොදන සිංහල පදය ‘සිරි ලකුණ’ යන්නයි. ඔබ දන්නවා ඇති සිරි ලකුණ (†) පාවිච්චි කරනු ලබන්නේ ලිපියක පාදක සටහනක් ඇති බව ලිපිය තුළ දැක්වීමටයි.
මේ ඔබිලිස්ක් නම් ඉතා කුඩා සත්වයා ලෝක ජනගහනයෙන් අඩකට වඩා පිරිසකගේ සිරුරුවල වාසය කරන්නේය යනු විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේ විස්මිත ක්ෂුද්‍ර ජීවියා හමු වී ඇත්තේ ‘ජාන පුස්තකාල’වල තැන්පත් කිරීම සඳහා විවිධ ජාන හා ඒවායේ ජාන රටා එක් රැස් කිරීමේ දී මෙතෙක් හඳුනා ගෙන නොමැති ජානවලට සම්බන්ධ නැති මේ අමුත්තා හමුවෙලා තියෙනවා.
මේ අමුත්තා වැඩිපුරම ජීවත්වෙන්නේ මිනිස් මුඛය තුළ හා බඩවැල්වල වෙසෙන බැක්ටීරියා ගහන ආශ්‍රිතවයි. ඒ බැක්ටීරියාවක් තුළට රිංගා ගන්නා මේ අමුත්තා අවුරුද්දක් තරම් කාලයක් ඒ තුළ ජිවත්වෙනවා. විද්‍යාඥයන් තාම දන්නේ නැහැ, ඔවුන් ව්‍යාප්ත වන්නේ කොහොමද කියලා.
ඔබිලිස්ක්ට ඇත්තේ විරොයිඩ්ස් (viroids) ක්ෂුද්‍ර ජීවියාට සමාන ආර්එන්ඒ (RNA) ජිනෝම ලූපයක්. විරොයිඩ්ස් කියන්නේ ශාකවලට පමණක් සීමා වූ, ආසාදන ඇති කරන, ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවියෙක්. මේ ක්ෂුද්‍ර ජීවීයා මිනිස් සිරුර ඇති බැක්ටීරියාවක් තුළ හමුවීම විද්‍යාඥයන්ට බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
“පිස්සු හැදෙනවා, මේ කතාව ඇහුණාම” මෙහෙම කියන්නේ මේ පරීක්ෂණයට සම්බන්ධ නැති සෛල සංවර්ධනය පිළිබඳ ජීව විද්‍යා විශේෂඥයකු වූ මාක් පීෆර් (Mark Peifer). ඔහු විද්‍යා සඟරාවට (Science) ප්‍රකාශයක් කරලා තියෙනවා. “අපි මේවා ගැන වැඩියෙන් සොයන්න සොයන්න මහ අමුතු විකාර දේවල් තමයි හමු වෙන්නෙ.” මේ ඔබිලිස්ක් මිනිස් සිරුරට හානිකර ද ප්‍රයෝජනවත් ද කියලා තාම හරියට දන්නේ නැහැ. දැනට මේ පර්යේෂක කණ්ඩායම හිතන්නේ අපේ සිරුරට රහසිගතව ඇතුළු වී එහි ඉන්නා බැක්ටීරියා තුළ ලැගුම් ගෙන පරිණාමය වන අදියරක් පසු කරන සංචාරක ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් විය හැකිය කියායි. එසේ ම ඔවුන් අද පෘථිවිය මත නැති අතීතයේ විසූ වඳ වී ගිය ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් වෙන්නත් ඉඩ තියෙනවා.
විද්‍යාඥයන් හරියට ම දන්නේ නෑ, මේ ක්ෂුද්‍ර ජීවියා කිසියම් විදියකින් මිනිස් සිරුරට හානි කරනවා ද කියා. ඒත් ඔවුන්ට පරිණාම කාලය තුළ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් ආසාදනයට ලක් කිරීමේ හැකියාවක් තිබිය හැකියයි ඒ විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඒත් මේ හා සමාන විරොයිඩ්ස් නම් ‘හෙපටයිටිස් ඩී’ රෝග තත්වය ඇති කරනවා.
ඔබිලිස්ක්, විරොයිඩ්ස් හා වයිරස ආදීන් තාක්ෂණිකව නියම ජීවී ස්වභාවයන් ලෙස පිළිගැනෙන්නේ නැහැ. ඒවා ධාරකයා මත යැපෙන පරපෝෂිතයන් ලෙසයි සැලකෙන්නේ. ඒත් සමහර විද්‍යාඥයන් පිළිගන්නවා, විරොයිඩ්ස් හා ඊට නෑකම් කියන ක්ෂුද්‍ර ජීවීන්, ඔබිලික්ස් පවා පෘථිවියේ පැරණිම ජීවී ස්වභාවයන් විය හැකිය කියා.
මේ පර්යේෂක කණ්ඩායමට නායකත්වය දුන් කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාඥයකු වූ ඉවාන් ශෙලුදේව් (Ivan Zheludev) ඇතුළු පිරිස තමයි, මේ අලුත් ජීවියා සොයා ගත්තේ. ඔවුන් මිනිස් මුව හා අන්ත්‍රවලින් ලබා ගත් තනි රැහැනේ RNA දත්ත එකතුවක් පරීක්ෂා කරමින් සිටියදීයි, මේ බව හෙළිවුණේ. වයිරස හා විරොයිඩ්ස් යන දෙවර්ගයට හෝ වෙනත් ජාන රටාවකට අයත් නොවන අමුතු සතකුගේ ඒවා බව හෙළිවුණා. ඔවුන්ගේ විශ්ලේෂණයේදී වෙනස් ඔබිලිස්ක් 30,000ක් පමණ හමුවුණා. ඔවුන්ගේ ජිනෝම කලින් විද්‍යාඥයන්ගේ අවධානයට ලක් නොවුණේ ඔවුන් එතෙක් හඳුනාගෙන වාර්තා කර තිබූ ජීවීන්ට සමාන නොවූ ඉතා සියුම් ප්‍රභේදයක් නිසා විය හැකියි.
මේ විස්මිත සොයා ගැනීම ගැන අධ්‍යයන වාර්තාවත් සෛල (Cell) යනුවෙන් පළවන විද්‍යා සඟරාවේ ප්‍රසිද්ධ කර තිබෙනවා. ඊට අනුව මේ විස්මිත අමුත්තා ලෝකයේ ජනගහනයෙන් අඩකගේ මුඛ ආශ්‍රිත ජීවත්වෙනවා. සියයට හතක් පමණ අන්ත්‍රවල සිටින බවත් කියැවෙනවා. මේ සතා සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ කිරීම අවශ්‍යයි.
මිනිස් සිරුරේ හමුවන තැන අනුව ඔබිලිස්ක් වෙනස් වෙනවා. ඒ නිසා ඔබිලික්ස් ක්ෂුද්‍ර ජීවීයා කුමන වර්ගයේ දැයි හමුවුණු තැන අනුව කියන්න පුළුවන්. දැනට සොයා ගෙන ඇති ආකරයට මේ ජීවියා ඔවුන්ගේ වර්ගයා බෝකර වසරකින් පමණ ඒ මිනිස් සිරුරෙන් ඉවත් වෙනවා. ඔවුන් ගහණය වැඩිකර ගන්නේ බැක්ටීරියා තුළට වැදී එහි ජීවත් වෙමිනුයි. ඔවුන් වැඩිපුර ජීවත්වන්නේ දන්ත පථවල ඉන්නා ස්ට්‍රෙප්ටකොකස් සැන්ගුයිනිස් (Streptococcus sanguinis) කියන බැක්ටීරියාවේ යැයි දැන් හඳුනා ගෙන තියෙනවා. එහි ඉන්නේ විශේෂ ඔබිලිස්ක් වර්ගයක්. මෙය පර්යේෂණ කටයුතුවල දී පහසුවක් වෙනවා. එයට හේතුව ඒ බැක්ටීරියාව පර්යේෂණාගාරය තුළ පහසුවෙන් වගා කළ හැකි නිසයි. ඒ නිසා අනාගතයේ දී ඔබිලික්ස් ජීවත්වෙන්නේ කෙසේද? ඔවුන් ක්ෂුද්‍ර සෛලයක් තුළ වර්ගයා වැඩි කර ගන්නේ කෙසේද? ආදිය ගැන කරන පර්යේෂණ පහසුවෙන් කර ගත හැකි වේවි.
සෑම ඔබිලිස්කයකම ඔබියුලින් (obulin) කියන ප්‍රෝටීනයක් තියෙනවා. ඒවා අප දන්නා අනික් සියලු ප්‍රෝටීනවලට වඩා වෙනස්. එහි කාර්යභාරය කුමක්දැයි තාමත් විද්‍යාඥයන් විසින් සොයාගෙන නැහැ. දැනට ඔවුන් දන්නේ ඔබිලිස්ක් පරිණාමය වන බව හා එහි පාරිසරික කාර්යභාරය පමණයි. පරපෝෂිතයන් නිසා ඔවුන්ගෙන් සත්කාර සෛලවලට හානි සිදුවීමට පුළුවන්. ඒ වගේම සත්කාර සෛලවලට ඒවායින් හානියක් නොවෙනවා වගේම ප්‍රයෝජනයක් වෙනවා වෙන්නත් පුළුවන්. මේ ගැන කරන අනාගත පර්යේෂණවලින් සමහර විට මේ ඉතා කුඩා ක්ෂුද්‍ර ජීවියා මිනිසාට හිතකර යැයි නිගමනය වන්නත් පුලුවන්
0 Comments